කුරුණෑගල ප‍්‍රදේශයේ විදේශ රැකියා ඒජන්සියක් හරහා විදේශ සේවා නියුක්ති කාර්‍යාංශයේ රක්ෂණ සහතිකයද ඇතිව සෞදි අරාබියේ ගෘහ සේවයට ගිය තිදරු මව එම නිවසේ හාම්පුතුන්ගේ වදහිංසාවට ලක්වීම නිසා ඇය නැවත දිවයිනට ගෙන්වා රෝහල් ගතකර ප‍්‍රතිකාර ලබා නිවසේ සිටියදී ඉකුත් දහඅටවෙනිදා ජිවීතක්ෂය පත්ව තිබේ.
මෙසේ මිය ගොස් ඇත්තේ හැටන් කොටගල යුනිෆීල්ඞ් වතුයායේ වැලින්ටන් කොටසේ පදිංචි රාමනාදන් කමලේස්වරී (අවු. 48) නැමති තිදරු මවකි.2012.04.27 දින සෞදි අරාබියේ ගෘහසේවයට ගොස් වසරකට ආසන්න කාලයක් එහි සේවය කර ඇති අතර ඇයට එම නිවසේ හාම්පුතුන් විසින් පහරදී හිංසා කිරීම නිසා ඇයට ස්නායු ආබාධයක් ඇතිවී ගොලු බවට පත්වී කිසිදු වැටුපක් හෝ වන්දියක් නොගෙවා එම නිවසේ හාම්පුතා විසින් එම රටේ ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලයට ගෙනවිත් භාරදී තිබෙනවා.එම රටේ ගෘහසේවයට ගොස් දිවයිනට පැමිණි කාන්තාවක් හරහා කමලේස්වරීගේ ඥාතීන් ඒ පිළිබඳව දැනගත් වහාම විදේශ සේවා නියුක්ති කාර්‍යාංශයට රු.තිස්අටදාස් තුන්සිය හැටහතරක් 38,364ගෙවා ඇයව 2013.12.28 දින දිවයිනට ගෙන්වා ගෙන තිබෙනවා.
ඇය දිවයිනට පැමිණෙන විටත් දැඩි ලෙස රෝගාතුරව සිටි නිසා මුලින්ම කුරුණෑගල ශික්ෂණ රෝහලෙන්ද අනතුරුව පේරාදෙණිය ශික්ෂණ රෝහලෙන්ද නේවාසිකව ප‍්‍රතිකාර ලබා සිටියදී ඇයට කිසිදු සුවයක් නොලැබුණු නිසා වෛද්‍යවරුන්ගේද උපදෙස් මත ඇය පදිංචි කොටගල නිවසට ගෙන විත් සිටියදී ඉකුත් දහඅට වෙනි දින නිවසේ කිසිවෙකු නොමැති අවස්ථාවේ ඔත්පලවී සිටි ඇය නිවස තුළ වැටී බරපතල ලෙස තුවාල ලබා දික්ඔය මූලිකරෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව එදින මියගොස් තිබෙනවා.
මේ පිළිබඳව මරණ පරික්ෂණය පැවැත්වූ හදිසි මරණ පරීක්ෂක එම්.ජේ.එම්. ෆසීර් පවසන්නේ මෙම කාන්තාව සෞදි අරාබියේදී හාම්පුතුන්ගේ වද හිංසාවට සහ පහරදීම් හේතුවෙන් ඔත්පලවීම නිසා ඇය බිම වැටී බරපතල ලෙස තුවාල සිදුවී ඇති නිසා මෙම මරණය සිදුවී ඇති බවයි.මරණය පිළිබඳව ප‍්‍රශ්චාත් මරණ පරික්ෂණය පැවැත්වූ දික්ඔය මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිළධාරී වෛද්‍ය කේ.එස්. ලොකුහේවාගම විසින් මෙම මරණය බිම වැටීම හේතුවෙන් මොළයට අධික ලෙස රුධිරය වහනය වීම හේතුවෙන් සිදුවී ඇති බව සඳහන් කළා. මිය ගිය කමලේස්වරීගේ අවසන් කටයුතු පවුලේ ඥාතීන් හා ප‍්‍රදේශවාසීන්ගේ සෝසුසුම් මැද ඊයේ එම වතුයායේ පොදු සුසාන භූමියේදී සිදුකෙරුණා.