මාලබේ වෛද්‍ය උපාධි ආයතනය සම්බන්ධයෙන් හා වෛද්‍ය අධ්‍යාපනය පෞද්ගලීකරණය සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාව දැනුවත් කිරීම සඳහා සංදේශයක් භාර දීම ඊයේ (29) වෛද්‍ය අධ්‍යාපනය පෞද්ගලීකරණයට එරෙහි පොදු සංවිධාන එකමුතුව මගින් සිදු කෙරිණි. සමස්ත ලංකා වෛද්‍ය නිලධාරී සංගමයේ මූලිකත්වයෙන්, විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය, ජාතික විද්වත් වෘත්තික සංසදය, සමස්ත ලංකා හෙද සංගමය, සමස්ත ලංකා සුවසේවා සංගමය, ලංකා ගුරු සේවා සංගමය, සමස්ත ලංකා ආයුර්වේද වෛද්‍ය නිලධාරී සංගමය, සමාජවාදී ශිෂ්‍ය සංගමය ඇතුළු වෘත්තීය සමිති ගණනාවක් හා ශිෂ්‍ය සංවිධානවල එකමුතුවෙන් මෙම පොදු සංවිධාන එකමුතුව ගොඩනගා ඇති බව වෛද්‍ය ජයන්ත බණ්ඩාර පවසයි.
2008 වසරේ සිට ක‍්‍රියාත්මක වන උක්ත පෞද්ගලික ආයතනයේ පෞද්ගලික වෛද්‍ය උපාධි පාඨමාලවක් පවත්වාගෙන යන බවත් ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාව ඇතුළු රාජ්‍ය ආයතන ගණනාවක් නොමග යවමින්, දේශපාලන බලය හා කොමිස් මුදල් මතින් ඊට සුජාතභාවයක් ලබාදීමේ පටු අරමුණු සහිතව දේශපාලඥයින් හා නිලධාරීන් කටයුතු කරන බවත් මෙම තත්වය පරාජය කිරීමට රටේ ජනතාව හා ඒකාබද්ධ වී ක‍්‍රියාමාර්ග ගත යුතු මොහොත එළඹී ඇති බවත් මෙහිදී වෛද්‍ය ජයන්ත බණ්ඩාර පැවසීය.
මෙම අවස්ථාවට විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ ලේකම් නිර්මාල් රංජිත් දේවසිරි, එහි සභාපති චන්‍ද්‍රගුප්ත තේනුවර, ජාතික විද්වත් වෘත්තික සංසදයේ සභාපති වෛද්‍ය සුනිමල් ජයකොඩි, ලංකා ගුරු සේවා සංගමයේ ප‍්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ, සමස්ත ලංකා හෙද සංගමයේ ප‍්‍රධාන ලේකම් ගාමිණී කුමාරසිංහ ඇතුළු වෘත්තීය සමිති නායකයින් හා ශිෂ්‍ය සංවිධාන නායකයින් රැසක් සහභාගී විය.