Gallery

Related Posts Plugin for WordPress, Blogger...

Sinhala Radio

Scan Me

Scan Me
Powered by Blogger.

- ජැක්සන් ඇන්තනී පිළිතුරු දෙයි
* “දස්කොන්” ටෙලිනාට්‍යය දැන් විකාශය වෙන්න පටන් අරන්. ඔබ හිතූ තරම් ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙනවද?
මට ලැබෙන අතිවිශාල ප්‍රතිචාරය පිළිබඳ මට කුතුහලයක්, පුදුමයක් නෑ. මොකද ඒක මම බලාපොරොත්තු වුණු දෙයක්. මම ඉබාගාතේ යන කෙනෙක් නෙමෙයිනේ. ඒ නිසා මගේ එල්ලය තිබෙන්නේ හුදී ජන පහන් සංවේගය සඳහායි. මට ඕන පොදු මහජනතාවගේ ප්‍රසාද සංවේගය සඳහා නිර්මාණ කරන්නයි. වර්තමානයේ පොදු ජනතාව ආමන්ත්‍රණය කරන්න තිබෙන හොඳම මාධ්‍යය රූපවාහිනියයි. අද ඒක බහුජන මාධ්‍යය වෙලා.
ඒකම තමයි විනාශයත්. අපි උසස් කලා රසාස්වාදනය සඳහා වෙනම පිරිසක් බොහොම දුර්ලභ පිරිසක් ‍තියාගෙන පොදු ජන රසාස්වාදනය බාල වෙන්න ඇරියාම, පොදු ජන රසඥතාව තමයි පිරිහෙන්නේ.
ඒ නිසා රසඥතාවයෙන් ඉහළ ඉන්න, අධ්‍යාපනික වෙනම තලයක ඉන්න ප්‍රේක්ෂකයින් පිනවීමට දුර්ලභ කලා නිර්මාණ කිරීමට වඩා රටක් විදිහට හිතනවා නම්, අපි රටට ආදරේ නම් රටේ පොදු මහජනතාව වෙනුවෙන් යමක් කළ යුතුයි කියන සිතුවිල්ලේ තමයි අපි ඉන්නේ. ඒක අරමුණු කරගෙන තමයි මම ‘දස්කොන්’ වෙත පියවර තියන්නේ ඒක ස්වර්ණවාහිනියෙන් ලැබුණු ආරාධනාවක්.

* ‘දස්කොන්’ නිසා කොරියානු, ඉන්දියානු ටෙලිනාට්‍යවලට ඇබ්බැහි වූ ප්‍රේක්ෂකයින් අඩුවුණා කියලා ඔබට දැනුණද?
මගේ ඉලක්කය ඒකයි. මම දැන් ඒ එල්ලයට හිමින් හිමින් සමීප වෙනවා කියලා දැනෙනවා. දැනට වුණත් මේ ගැන ලැබෙන ප්‍රතිචාරවල තිබෙන්නේ මේක ජාත්‍යන්තර තලයේ වැඩක්. මේක අපේ රටේ ටෙලිනාට්‍ය වලට වඩා වෙනස් කියන කාරණාත් එක්ක තමයි. මීට පෙර මතයක් තිබුණ අපට කොරියාවත් එක්ක හැප්පෙන්න බෑ. අපිට ඉන්දියාවත් එක්ක හැප්පෙන්න බෑ කියලා. ඒවා ‍ලොකු රටවල් ඒවා පෝසත් රටවල් කියලා.
නමුත් මගේ සටන් පාඨය වෙන්නේ අපට ඒවත් සමඟ හැප්පෙන්න පුළුවන්. ඒක පුස් වෙඩිල්ලක් නොවෙයි. අපි පෝසත්. ඒ පෝසත්කම අර්ථ දක්වන්නේ මම මුදලින් නොවෙයි. ඒ අය මුදලින් පෝසත් වෙන්න පුළුවන්. අපි හැකියාවෙන්, කැපවීමෙන්, රටට තිබෙන ආදරයෙන්, ජනතාවට තිබෙන ඇල්මෙන් පොහොසත්නේ. එතකොට අපිට තිබෙන සීමිත රුපියල් සත ප්‍රමාණයට අපේ කැපවීම මහන්සිය, අපේ අත්දැකීම්, කුසලතා එකතු කරපුවහම අපිත් පොහොසත්. මෙන්න මේ පොහොසත්කම භාවිතා කරලා ඒ විදේශීය ටෙලිනාට්‍යවලට සමවෙන්න තරග කරන්න තමයි මේ ටෙලිනාට්‍යය නිර්මාණය කළේ.
* ඔබ නිර්මාණය කළ ‘ඇඩ්‍රස් නෑ’ චිත්‍රපටය පිළිබඳ කතා කළොත්.
මේ චිත්‍රපටයේ වැඩ කටයුතු අවසන් කරලා තමයි මම ‘දස්කොන්’ ටෙලිනාට්‍යය කරන්න ගියේ. මේ කාලයේ ‘ඇඩ්‍රස් නෑ’ හි ප්‍රචාරක කටයුතු සඳහා සූදානම් වෙමින් ඉන්නවා. පූර්ව ප්‍රචාරක පටය හදමින් ඉන්නවා. ජනවාරි මාසයේ අලුත් අවුරුද්දට අලුත් විදියකට මේක තිරයට ඒවි. මට ඕන මේ සිනමාව යළිත් අලුත් කරන්න. වර්තමාන සුභාවිත සිනමාවේ පුනරුදය සඳහා දායක වුණු කෙනෙක් මම. ‘අබා’ චිත්‍රපටයත් සමඟ ලොකු පුනරුදයක් මේ රටේ ඇති වුණා. ලාංකේය සිනමාව යළිත් අලුත් කරන්න මට ඕන.
* පසුගිය දිනවල එක්තරා ජාතික පුවත්පතකින් ප්‍රකාශයට පත්වුණා ඔබ මේ දිනවල තවත් චිත්‍රපටයක් අධ්‍යක්ෂණයට සූදානමින් ඉන්නවා කියලා. ඒ සඳහා ඔබට රජයෙන් විශාල මුදලක් ලබා දුන්නා කියලත් සඳහන් වුණා. ඒ චිත්‍රපටය කුමක් ද?
ඒ චිත්‍රපටයේ නම තමයි ‘හතරවැනි සිල්පදය බිඳ ගැනීම’ පසුගිය කාලේ මම කොළඹ නැති අල්ල පනල්ලේ ලොකු කටකතාවක් ගිහින් තිබෙනවා. ඒ කටකතාව බොරුවක් නොවෙයි. අමූලික බොරුවක්. බොරුවෙත් අමූලික බොරුවෙත් වෙනස මට දැන් පැහැදිලි වෙනවා. මට හිතෙනවා බොරුවක් කියන්නේ පොඩි හේතුවක් ඔස්සේ ලොකුවක්. නමුත් කිසිම හේතු සාධකයක් නොමැතිව හැදෙන ‍බොරුවට තමයි අපි කියන්නේ ‘පට්ට කෙබරය’, ‘පට්ටපල් බොරුව’, ‘අමූලික බොරුව’ කියලා. මේක එහෙම අමූලික බොරුවක්.
කිසිම සාධකයක්, සාක්ෂියක්, මූලාශ්‍රයක් නැතිව ගොඩ නැගිච්ච බොරුවක්.
* නමුත් අපි අහලා තියනවනේ ගින්නක් නැතුව දුමක් නගින්නේ නෑ කියලා?
අන්න හරි. මේක ගින්නක් නැතුව නැගිච්ච දුමක්. දුමක් තියනවා. හැබැයි ගින්නක් නෑ.
* මේ සඳහා ඔබට විශාල මුදලක් රජයෙන් ලබාදුන්නා කියලත් සඳහන් වෙනවා නේද?
මීට පෙරත් හරියට මට ආණ්ඩුවෙන් සල්ලි දුන්න කතා තිබෙනවා. එහෙම නම් මෙලහකට මම කෝටිපතියෙක් වෙලා ඉන්න ඕන. අනේ මට චිත්‍රපටයක් හදන්න සල්ලි නැතුව මම ඉන්නේ. මම චිත්‍රපට 5 ක් විතර ලියාගෙන ඉන්නවා ඒව ටික හදන්න මට සල්ලි නෑ. මම බොහොම අමාරුවෙන් මගේ ශක්ති ප්‍රමාණයෙන් පෝසත් වුණ මිනිහෙක්. මගේ ශක්ති ප්‍රමාණයෙන්, මගේ අධ්‍යාපනයෙන්, මගේ හැකියාවෙන්. මම මගේ පවුල රකිමින් මගේ දරිද්‍රතාව වහගෙන ඉන්න මිනිහෙක්.
එතකොට පසුගිය කාලය පුරාම මට කිව්වා අතනින් මෙච්චර ගැහුවා, මෙතනින් මෙච්චර ගැහුවා කියලා. එහෙම නම් මේ වෙනකොට ඒ ගහපුවා එළියට ඇවිල්ලා තියෙන්න ඕන. එහෙනම් මගේ දරුවෝ මෙලහකට යාන වාහනවල එන්න යන්න ඕන. ඔවුන් තවමත් බස් එකේ කොළඹ යන එන කෙල්ලෝ කොල්ලෝ. ඊට පස්සේ මට කිව්වා ඔය දේශපාලනේ ගැන කතා කරන්නේ පාර්ලිමේන්තුවට රිංගන්න, එහෙම නැත්නම් රාජ්‍ය නිලතල දරන්න කියලා. ඒවත් දැරුවේ නෑ. එච්චර ඔප්පුවෙලා තියෙද්දිත් තාමත් මට මඩ ගහනවා.
මැතිවරණය කේන්ද්‍රකොට ගත්තු විරුද්ධ පක්ෂවලට මඩ ගහන චිත්‍රපටයක් හදන්න යැයි මට ආණ්ඩුවෙන් කොන්ත්‍රාත් එකක් බාරදීලා තිබෙනවායි ඒ සඳහා කෝටි 2 1/2 ක මුදලක් මට දීලා තිබෙනවායි කියන එක තමයි මේ අමූලික ‍බොරුව. මේ බොරුව නිශේධනය වන හේතු දෙකක් තිබෙනවා. එකක් තමයි මගේ පැවැත්ම. මගේ අතීතය මේ රටේ ඇස්පනාපිට ගොඩ නැගෙන මිනිසෙක් මම. මම කාගෙවත් කොන්ත්‍රාත්තු උඩ කලා නිර්මාණ කරන කෙනෙක් නොවෙයි.
මීට පෙරවත්, මීට පසුවත් මට මතයක් තිබෙනවා. ඒ මතය සෞන්දර්ය, සංස්කෘතිය, ඉතිහාසය, රසවින්දනය හුදී ජන පහන් සංවේගය වැනි ජනතාවාදී සිතුවිලිත් එක්කයි මම ඉන්නේ. මම මගේ මාවත 1970 ගණන්වල ඉඳලම හිමින් හිමින් හදාගත්ත කෙනෙක්. මගේ දේශපාලනික පැහැදිලි කිරීම් පවා මගේ හැදෑරීම්වලට අදාළ සමාජ විද්‍යාත්මක දේවල් මිසක් මට මේ පක්ෂ දේශපාලනය, මඩ ප්‍රචාර, කඩේ යාම් මට අයිත නෑ.
මම කිසිදා පක්ෂයක සාමාජිකත්වයක් වත් දරලා නෑ. මට එහෙම පක්ෂයක් නෑ. හැබැයි මේ වර්තමාන දේශපාලන සංස්කෘතිය මගේ අධ්‍යාපනයට, මගේ සමාජ විද්‍යාවට අනුව පැහැදිලි කරනවා. ඒ පැහැදිලි කිරීම්වල දේශපාලන අවාසි ලබන අය ඉන්නවා. ඒ

අවාසි ලබන අය මට විරුද්ධව සාමාන්‍ය දේශපාලන හෙංචයියලාට වගේ මං ගැනත් එහෙම මත ප්‍රකාශ කරනවා. ඒ තමයි මගේ පැත්තෙන් තිබෙන කාරණාව.
රජය පැත්තෙන් තිබෙන කාරණාව, මම මේ රජය සහ ජනාධිපතිතුමාව අගය කරන, හොඳින් හඳුනන කෙනෙක් හැටියට, මේ රජයට කලාකරුවන් ලවා තමන්ට විරුද්ධ පාක්ෂිකයන්ට මඩ ගැසීමේ බංකොලොත් භාවයක් නෑ. මේ රජය එහෙම බංකොලොත් වෙලා නෑ. බංකොලොත් වෙච්ච දේශපාලනඥයෝ මඩ නමැති ආයුධය අතට ගන්නවා.
* රන්මිහි තැන්නේ රූගත කරනවාය කියන ආරංචියකුත් පැතිරුණා. ඔබ වෙනත් කාර්යයකටවත් රන්මිහිතැන්නට ගියේ නැද්ද?
රන්මිහිතැන්න පැත්ත පළාතේ ගිය කාලයක්වත් මතක නෑ. මම රන්මිහිතැන්නට ‍ගොඩ වැදුණේ අවසාන වතාවට ‘කුසපබා’ චිත්‍රපටයේ රඟපාන්න. අඩුම තරමේ මගේ ‘දස්කොන්’ ටෙලි නාට්‍යයවත් රන්මිහිතැන්නේ රූපගත කළේ නෑ. ඒකයි මම කියන්නේ මේක ගින්නක් නැතුව නැගපු දුමක් කියලා. මේ රජය කලාකරුවෝ ලව්වා මඩ චිත්‍රපට නිර්මාණය කරලා යැපෙන රජයක් නොවෙයි. මම මේ ජනාධිපතිතුමා ජනමූල නායකයෙක් ලෙස හැඳින්වූවේ ඒ නිසා.
ඒ ජනමූල නායකත්ව ප්‍රමෝෂන් වලින් ප්‍රවර්ධන වලින් ගන්න බෑ. විශේෂයෙන් ජනමාධ්‍ය පවා මැතිවරණ කාලවලදි විවිධ විලම්භීත කියනවා. එහෙම කියපු එක විලම්භීතයක් තමයි මේ. මේ විලම්භීත වලට හසුවුණු නායක හාමුදුරුවරු පවා හිටියා. ඒ නායක හාමුදුරුවරු හතරවැනි සිල්පදය කඩා ගත්තා මම දැක්කා මේ මුසාවාදය දේශනා කරලා.
අපි වගේ අය ගැන කතා බහ කරනකොට පරිස්සමින් කතා කරන එක හොඳයි. අපි ප්‍රතිපත්ති තිබෙන කලාකරුවෝ, චින්තන සහිත කලාකරුවෝ. අපි අධ්‍යාපනය ලබපු කලාකරුවෝ. මම අපි කියල කියන්නේ එහෙම පිරිසක් ලංකාවේ ඉන්න නිසා. ඒ අය පිළිබඳ මීට වඩා ගෞරවයෙන්, ප්‍රතිපත්ති ගරුකව ප්‍රතිචාර දක්වන්න කියන එක තමයි මට ඉල්ලන්න තිබෙන්නේ.

Sirasa TV

Swarnavahini Live

Hiru TV Live

TV Derana Live

Tv1 Live