හැටන් කොටගල නගරයේ උකස් මධ්‍යස්ථානයකින් රන් පවුම් අනූඅටක් (98) සහ මුදල් එක්ලක්ෂ අනූහතරදහසක් සොරකම් කළ සැකකරුවෙකු එම උකස් මධ්‍යස්ථානයේ සවිකර තිබූ සී.සී.ටී.වි කැමරා දර්ශන වලින් හදුනාගැනීමෙන් පසු දිඹුල පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉකුත් නව (09) වෙනිදා රාත්රියේදී මෙම සැකකරු කොටගල නගරයේ පිහිටි මෙම උකස් මධ්‍යස්ථානයට පිටු පස දොරෙන් ඇතුල්වී එහි ආරක්ෂිත ලාච්චුවක තිබූ ස්වර්ණාභරණ හා මුදල් සොරකම්කර තිබෙනවා.
පසුව එහි හිමිකරු පසු දින එම වෙළඳසැළ විවෘත කිරීමේදී ස්වර්ණාභරණ සොරකම්කර ඇති බවට දැනගෙන ඇති අතර ඉන් අනතුරුව වෙළඳසැලේ සවිකර තිබූ සී.සී.ටී.වි කැමරා දර්ශණ පරීක්ෂා කර බැලිමේදී සැකකරු හදුනාගෙන ඒ පිළිබඳව දිඹුල පොලීසියට කරන ලද පැමිණිල්ලකින් අනතුරුව පොලීසිය මඟින් ඉකුත් දහවෙනිදා සැකකරු අත් අඩංගුවට ගෙන අධිකරණ නියෝග මත රඳවාගෙන ප්‍රශ්ණ කිරීමේදී ඔහු විසින් කොටගල නගරයෙන් සොරකම් කරන ලද රන් පවුම් අනූඅටක් (98) සහ සොරකම් කරන ලද මුදල් වලින් රු. එක්ලක්ෂ හතලිස් තුන්දහසක් සැකකරුගේ නිවසේ තිබී දිඹුල පොලීසිය මඟින් සොයාගෙන තිබෙනවා.
සැකකරුගෙන් ප්‍රශ්ණ කිරීමේදී ඔහු විසින් නුවරඑළිය, තලවාකැලේ, කොටගල සහ හැටන් යන නගරවලත් මීට ඉහත ස්වර්ණාභරණ සහ මුදල් කොල්ලකෑම් ගණනාවකට සම්බන්ධ බවට පොලීසියට තොරතුරු අනාවරණය කර තිබෙනවා. මෙම සැකකරු විසින් නුවරඑළිය නගරයේ උකස් මධ්‍යස්ථාන කීපයක එම ස්වර්ණාභරණ වලින් කොටසක් උකස් කර තිබීයදී පොලිස් භාරයට ගෙන තිබෙනවා.
මෙම සැකකරු කොටගල නගරයේම ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වන අතර මොහු වර්ථමානයේ ව්‍යාපාර කටයුතු වලින් පාඩු ලබා සිටින අයෙකු බවත් මොහු තිදරු පියෙකු බවත් දිඹුල පොලීසිය පවසනවා. මෙම සැකකරු රන් භාණ්ඩ හා මුදල් සොරකම් කිරීමෙන් අනතුරුව මෙම වෙළඳසැලේ සවිකර තිබූ සී.සී.ටීවි කැමරාවට හානි කර ඔහු වෙළඳසැල තුළ විනාඩි තිහක් පමණ රැදී සිටි ඇති බවයි දැනට කරන ලද පරීක්ෂණ වලදී අනාවරණයවී තිබෙන්නේ.කොටගල නගරයෙන් සොරකම් කරන ලද ස්වර්ණාභරණවල වටිනාකම ලක්ෂ හැටකට ආසන්න බවත් අත්අඩංගුවට ගත් සැකකරු නැවතත් අද (15) හැටන් මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කරන බව දිඹුල පොලීසිය පවසනවා.
(හැටන් -රංජිත් රාජපක්ෂ )