Gallery

Related Posts Plugin for WordPress, Blogger...

Sinhala Radio

Scan Me

Scan Me
Powered by Blogger.

පාර්ලිමේන්තුවේ 225න් 142ක් උසස් පෙළ අසමත් බවත් 88ක් සාමාන්‍ය පෙළ අසමත් බවත් එවැනි පාර්ලිමේන්තුවකින් 1%ක් අධ්‍යාපනයට වෙන්කරන්න අත උස්සගන්න බලාපොරොත්තු වෙන බව සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ජාතික සංවිධායක, නලින්ද ජයතිස්ස පවසයි.අද පැවති මාධ්‍ය හමුවකදි ජාතික සංවිධායකවරයා පෙන්වා දුන්නේ අධ්‍යාපනයට ඉතිහාසයේ අඩුම මුදල මෙවර අයවැයෙන් වෙන් කර ඇති බවයි.


සමාජවාදී ශිෂ්‍ය සංගමයේ , නලින්ද ජයතිස්ස
අපේ රටේ විවිධාකාරයෙන් වැදගත්වන මාස තිබෙනවා. බොදුනුවන්ට වෙසක් මාසය, කිතුනුවන්ට දෙසැම්බර් මාසය, හින්දුවරුන්ට ජනවාරි මාසය වැදගත් වන්නා සේම මේ රටේ සිංහල, දෙමළ, මුස්ලිම්, මැලේ සියලූ දෙනාටමත් බෞද්ධ, ක‍්‍රිස්තියානි, හින්දු, මුස්ලිම් සියලූ දෙනාටමත් ජාති ආගමික භේදයකින් තොරව කුල භේදයකින් තොරව ස්ත‍්‍රී පුරුෂ භේදයකින් තොරව හැමදෙනාටම වැදගත් කොට සැමරිය හැකි මාසයක් තමයි ඔක්තෝබර් මාසය. එය තමයි රටේ නිදහස් අධ්‍යාපනයට උපත ලැබුණු මාසය. වසර ගණනාවක අතිදුෂ්කර ව්‍යායාමයක ප‍්‍රතිඵලයක් හැටියට 1945 ඔක්තෝබර් 1දා සිට අපේ රටේ නිදහස් අධ්‍යාපන පනත ක‍්‍රියාත්මක වෙන්න පටන්ගත්තෙ. 1944 රාජ්‍ය මන්ත‍්‍රණ සභාවේ වාද විවාදවලට ලක්වෙලා එය පනතක් විදිහට ක‍්‍රියාත්මක වුනේ මීට අවුරුදු 69කට පෙරාතුවයි. ඒ වගේම නිදහස් අධ්‍යාපන පනත රාජ්‍ය මන්ත‍්‍රණ සභාවට ගෙන ඒමේදී ඉතා විශාල කාර්යභාරයක් සිදු කරපු, අපි අදටත් නිදහස් අධ්‍යාපනයේ පියා විදිහට සලකන සී. ඩබ්. ඩබ්. කන්නන්ගර මැතිතුමා සැමරුම් දිනය යෙදිලා තියෙන්නෙ ඔක්තෝබර් මාසෙ 13 වෙනිදාට. එතුමා ඉපදිලා තියෙන්නෙ 1884 ඔක්තෝබර් 13. ඒ කියන්නෙ මීට අවුරුදු 130කට පෙරාතුව. මේ ගතවෙමින් තියෙන්නේ සී. ඩබ්. ඩබ්. කන්නන්ගර මැතිතුමාගේ 130වන ජන්ම දින සංවත්සරය.

ආණ්ඩුව 2015ට නියමිත අයවැය ගෙනඑන්න සූදානම් වෙලාවත් ගැන හිතලා නිදහස් අධ්‍යාපනය ක‍්‍රියාත්මක කරවාගැනීම සඳහා ‘අනාගතයට 6%ක්, කන්නන්ගර සතිය’ වැඩපිළිවෙල ඔක්තෝබර් 20 සිට 27 දක්වා ක‍්‍රියාත්මක කරන්න අප තීරණය කරලා තිබෙනවා.
නිදහස් අධ්‍යාපනයේ පියා වූ සී. ඩබ්. ඩබ්. කන්නන්ගර මැතිතුමා දේශපාලඥයෙක් හැටියට 1923 ගාල්ල ආසනයෙන් ව්‍යවස්ථාදායක සභාවට තේරීපත්වෙලා එතැන්සිට 1947 දක්වා ව්‍යවස්ථාදායක සභාවත් රාජ්‍ය මන්ත‍්‍රණ සභාවත් නියෝජනය කළා. 1931 රාජ්‍ය මන්ත‍්‍රණ සභාවෙ අධ්‍යාපනය පිළිබඳ විධායක කාරක සභාවේ සභාපතිවරයා වුනේ එතුමා. 1936දී නැවත වතාවක් එම ධූරයට පත්වුනා. ඒ අනුව තමයි එතුමාට නිදහස් අධ්‍යාපන පනත ගෙන එන්න අවස්ථාව ලැබෙන්නෙ. අවුරුදු 70ක් වයසයි අපේ රටේ නිදහස් අධ්‍යාපන ක‍්‍රමයට. අවුරුදු 70න් අවුරුදු 35ක් නිදහස් අධයාපනය ආරක්‍ෂා වෙන කාලයක් තිබ්බා. 1945 ඉඳන් 1980 දක්වා. ඒ කාලයේ ආණ්ඩු අධ්‍යාපනය වෙනුවෙන් වැඩිපුර ප‍්‍රතිපාදන වෙන්කරා. අධ්‍යාපනය වෙනුවෙන් වගකීම් දැරිය හැකි අයට ඇමතිකම් බාරදුන්නා. ඒකට අදාලකරන පාසල් පද්ධතියක්, විශ්වවිද්‍යාල පද්ධතියක් සකස්කරා. රාජ්‍ය විශ්වවිද්‍යාල වැඩිකරා. නමුත් 1980න් පස්සෙ ගතවෙච්ච අවුරුදු 35 කියන්නෙ නිදහස් අධ්‍යාපනයේ මළගම සනිටුහන් කරන කාලයක්.
1944දි රාජ්‍ය මන්ත‍්‍රණ සභාවට නිදහස් අධ්‍යාපන පනත ගෙනඑමින් කන්නන්ගර මැතිතුමා කිව්වා ‘‘මුද්‍රා තබන ලද පොතක් ලෙස පැවති අධ්‍යාපනය විවෘත ලියවිල්ලක් බවට පත්කලා. පොහොසතුන්ගේ බූදලයක් ලෙසට පැවති අධ්‍යාපනය දුප්පතුන්ගේ උරුමයක් බවට පත් කලා’’ කියලා. එතුමා එදා කාහල නාදයක් කලේ රාජ්‍ය මන්ත‍්‍රණ සභාවෙ. නමුත් අද නිදහස් අධ්‍යාපනයෙන් අවුරුදු 70ක් ගතවෙනකොට නැවත වතාවක් විවෘත ලියවිල්ලක්ව පැවති අධ්‍යාපනය මුද්‍රා තබන ලද පොතක් බවටත්, දුප්පතුන්ගේ උරුමයක් බවට පත්කරන ලද අධ්‍යාපනය නැවත පොහොසත්කම් සහිත, ජාවාරම්කාර දේශපාලඥයින් අතලොස්සකගේ දුවාදරුවන්ට උරුමවෙන බූදලයක් බවටත් පත්වෙමින් යනවා. මේ වෙනකොටත් පාසල් පද්ධතිය නොමිලේ ඉගෙනගන්න ස්ථානයක් නෙවෙයි. පාසල් අර්ධ රාජ්‍ය පාසල් බවට පත්වෙලා. පාසල් නඩත්තු වෙන්නේම දෙමාපියන්ගෙන් මුදල්වලින්. අද පළවෙනි වසරේ ඉඳලා උසස් පෙළ දක්වා මුදල් එකතුකරනවා. සාමාන්‍ය පෙළ සමත්වෙලා උසස් පෙළ පන්තියට ඇතුලත් වෙනවිට මුදල් අයකරනවා. විශ්වවිද්‍යාලවලට වරම් ලබපු ශිෂ්‍යන්ගෙන් නායකත්ව පුහුණුවට කියලා රු. 20,000ක් 25,000ක් අතර මුදලකට බඩු භාණ්ඩ මිලදී ගන්න සිද්ධවෙලා. ඒ වගේම බාහිර උපාධි සඳහා ලියාපදිංචි ශිෂ්‍යයින්ගෙන් මුදල් එකතුකරනවා. රු.30,000ට පැවති බාහිර කලා උපාධිය ලියාපදිංචිය රු.1,20,000 දක්වා වැඩි කළා. බාහිර උපාධියක් ලබා ගැනීම සඳහා ලියාපදංචි වන තරුණ තරුණියන්ගේ රු. රු.1,00,000ක් රු.1,20,000ක්, අයකරන්න ආණ්ඩුව කටයුතු කරලා. පෞද්ගලික විශ්වවිද්‍යාල පිහිටුවීමට නීතිමය ප‍්‍රතිපාදන සකස් කරමින් යනවා. හොඳම උදාහරණය තමයි මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය. ඒ වෛද්‍ය විද්‍යාලයේ උපාධියක් රු. ලක්‍ෂ 120ක් තරම් වෙනවා. සමහර පුද්ගලික විශ්වවිද්‍යාලවල කළමනාකරණ උපාධිය ලක්‍ෂ 80ක් වෙනවා. කලා උපාධිය ලක්‍ෂ 60යි. මේ වෙනකොට මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ ශිෂ්‍යයින්ට ඉගැන්වීම් පහසුකම් සඳහා රජයේ ශික්‍ෂණ රෝහල් ලබාදෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය උසාවියට ලියුමක් ඉදිරිපත් කරලා පොරොන්දු වෙලා තියෙනවා ඔවුනට ශික්‍ෂණ රෝහල් ලබාදෙන්න. මෙය ඉගෙනගන්න හැකියාව දක්‍ෂතාවය සහිත දරුවන්ගේ මානව හිමිකම් උල්ලංඝනය කිරීමක්. ඉතාම සීමිත පිරිසකට තමන්ගෙ නොහැකියාව මුදලින් වහගන්න අවස්ථාව හදලා දීලා. ඔවුන් වෛද්‍යවරු බවට පත් වුනාට පස්සේ ජනතාවට අබසරණයි. මාළඹේ ශික්‍ෂණ යැයි කියාගන්නා රෝහලට ඇතුලත් කළ දරුවෙක් ඩෙංගු රෝගයට ප‍්‍රතිකාර ලබා නොදී මියගියා.
රාජ්‍ය විශ්වවිද්‍යාලවලත් දැන් පුටු කිහිපයක් මුදලට වෙන්කරනවා. කන්නන්ගර මැතිතුමා 1944 ඉදිරිපත් කරපු නිදහස් අධ්‍යාපන පනත කණපිටගහන්න ආණ්ඩුව කටයුතු කරනවා. ආණ්ඩුව කොතරම් මුදලක් අධ්‍යාපනයට වෙන්කරනවාද යන්න පෙන්නුම් කරන අවස්ථාව තමයි අයවැය. මේ ආණ්ඩුව බලයට පත්වෙච්ච දවසෙ ඉඳලම අධ්‍යාපනයට වෙන්කරන ලද මුදල සිඝ‍්‍රයෙන් කප්පාදු කරනවා. 2006දී දළ දේශිය නිෂ්පාදිතයෙන් 2.6%ක්. 2012දි 1.86%යි. 2013දී 1.49%යි. 2014දි 1.31% දක්වා අඩු වුණා. මීට දින කිහිපයකට කලින් විසර්ජන පනත ඉදිරිපත් කලා. අපේ රටේ පාසල් 9600කට වෙන්කරලා තියෙන්නේ කෝටි 4760යි. විශ්වවිද්‍යාල 17 සඳහා කෝටි 4160යි. අධ්‍යාපන සේවා අමාත්‍යාංශයට කෝටි 730යි. මුළු මුදල කෝටි 9600යි. ආණ්ඩුව කියන 8%ක ආර්ථික වර්ධන වේගය අනුව දළ ජාතික නිෂ්පාදිතය පුරෝකථනය කළොත් ආණ්ඩුව 2015දී අධ්‍යාපනයට වෙන්කරන්න බලාපොරොත්තු වෙන්නේ 1.01%යි. 1947 සිට ඉතිහාසයේ මෙතෙක් ආණ්ඩුවක් වෙන්කරන ලද අඩුම මුදල වෙන්කිරීමට නියමිත අයවැයක්. රටක පාලකයා පොත පත ගැඹුරින් පරිශීලනය කරන්නෙක් වෙනුවට තමන්ගෙ වෘත්තියක් විදිහට නිතර පොත් දමන්නෙක් සහ පොත් තබන්නෙක් වු පසු රටක අධ්‍යාපනයේ කලදසාව තමයි මේ. රටක් ඉදිරියට මෙහෙයවන්න නම් ඒ රටේ තරුණ සහ ළමා පරපුර ගැන ආදරයක් තියෙන, පොත පත පරිශීලනය කරන නායකයෙක් බලයට පත්වෙන්න ඕනෑ.
පාර්ලිමේන්තුවේ 225න් 142ක් උසස් පෙළ අසමත්. 88ක් සාමාන්‍ය පෙළ අසමත්. ඉතින් එවැනි පාර්ලිමේන්තුවකින් තමයි මේ 1%ක් අධ්‍යාපනයට වෙන්කරන්න අත උස්සගන්න බලාපොරොත්තු වෙන්නේ. මේ වෙනකොට අධ්‍යාපන ඇමතිවරු 14ක් ඉන්නවා. පාසල් අධ්‍යාපනයට ඇමතිවරු 12ක් සහ විශ්වවිද්‍යාල අධ්‍යාපනයට ඇමතිවරු 2ක්. එකේ පංතියෙ ඉඳලා 12 පංතිය වෙනකල් හැම පංතියටම ඇමතිවරයෙක් වෙන්කරන්න පුළුවන්. නමුත් ගොඩක් අය ඉන්නෙ 2 පන්තියෙ වැඩ කරන ඇමතිවරු. නමුත් නිදහස් අධ්‍යාපන පනත ඉදිරිපත් කරපු කන්නන්ගර මැතිතුමා නිකම්ම නිකම් දේශපාලඥයෙක් නෙවෙයි. ඔහු විද්වතෙක්. උගතෙක්. ගාල්ල රිච්මන්ඞ් විද්‍යාලයේ, මොරටුව වෙල්ස් කුමර විද්‍යාලයේ, වෙස්ලි විද්‍යාලයේ, කොල්ලූපිටිය මෙතෝදිස්ත විද්‍යාලයේ ගණිත ගුරුවරයෙක් හැටියට වැඩකරපු කෙනෙක්. නීතීඥවරයෙක්. ඔහු උගත් බුදධිමත් ලාංකීය විද්වතුන්ගෙන් ව්‍යවස්ථාදායක සභාවට ඡන්දයෙන් පත්වෙච්ච කෙනෙක්.
එහෙම අධ්‍යාපන ඇමතිවරු හිටපු රටක අද පාසල් අධ්‍යාපනය භාර දීලා තියෙන්නෙ ටියුෂන් කඩකාරයෙක්ට. ඉතිරි කොටස ජාත්‍යන්තර පාසල් කඩකාරයෙක්ට භාරදීලා. විශ්වවිද්‍යාල අධ්‍යාපනය බන්ධනාගාර ගත වෙච්චි මැරයෙකුට භාරදීලා තියෙනවා. එහි ප‍්‍රතිඵල තමයි පහුගිය දවස්වල අපි දැක්කෙ සබරගමුව විශ්වවිද්‍යාලයේදී. සිසුන්ගේ නිත්‍යානුකූල අයිතියක් වෙච්ච, 1978 අංක 16 දරණ විශ්වවිද්‍යාල පනතින් හිමිවෙලා තියෙන ශිෂ්‍ය සභා 2013 මාර්තු 14 ඉඳන් තහනම් කරලා තියෙන්නෙ. දින 576ක් ගතවෙලා. මානව හිමිකම් කොමිෂන් සභාවෙන් සබරගමුවේ ශිෂ්‍ය සභා තහනම ඉවත් කරන්න කියලා දැන් දින 196ක් ගතවෙලා. දින 40කට ආසන්න කාලයක් පඹහින්න මංසන්ධියේ සත්‍යග‍්‍රහයක නිරතවෙමින් ශිෂ්‍යයෝ නීත්‍යානුකූල අයිතියක් වෙච්ච ශිෂ්‍ය සංගම් අයිතිය ලබාදෙන්න කියලත්, පංති තහනම් කළ ශිෂ්‍ය ක‍්‍රියාකාරිකයන් 8දෙනෙකුගේ පංති තහනම ඉවත් කරන්නත් ඉල්ලා සිටියා. ඔක්තෝබර් 5දා නේවාසිකාගාරයක් විවෘත කරන්න විශ්වවිද්‍යාලයට ගිය එස්.බී. ඇමති ප‍්‍රසිද්ධියේ කිව්වා ඡන්ද කාලයක් නොවුනානම් මේ අට්ටාලවලට සලකන්න ඕන විදිහ අපි දන්නවා කියලා. එවැනි ප‍්‍රකාශ කරන උසස් අධ්‍යාපන අමාත්‍යවරයෙක් ඉන්න රටක් මේක.
ඔක්තෝබර් 10වෙනිදා රාත‍්‍රී 10.30ත් 11.00ත් අතර මුහුණු ආවරණය කරගත්ත නින්ජා බලකායක් පඹහින්න මංසන්ධිය ආසන්නයේ අට්ටාලයට ඇවිල්ලා කඩු පොලූ අරගෙන ඇවිල්ලා ශිෂ්‍යයින්ට පහරදීලා, ගම්වාසීන් කිහිප දෙනෙක්ටත් පහර දීලා, ඔවුන්ගේ ත‍්‍රීවීල් රථ කුඩු කරලා, දේපළවලටත් අලාභහානි කරලා තියෙනවා. ශිෂ්‍යයින් 15 දෙනෙක්ට තුවාල සිදුවෙලා බලංගොඩ රෝහලේ ප‍්‍රතිකාර ලබලා තියෙනවා. ඔවුන් අඳුනගෙන තියෙනවා එක්කෙනෙක් ඉඹුල්පේ ප‍්‍රාදේශිය සභාවේ මන්ත‍්‍රී ඉන්දික ජයමාන්න. ඔහුගේ මූලිකත්වයෙන් ප‍්‍රදේශයේ ඉන්න මැර කණ්ඩායම් එකතුකරලා, ඔවුන්ට මත්පැන් දීලා කඩු පොලූවලින් සන්නද්ධ කරලා මේ ශිෂ්‍යයින්ට පහරදී තිබෙනවා. ඊට අදාලකරන වීඩියෝපට තිබෙනවා. එතනට ආපු සමහර යතුරුපැදිවල අංක ශිෂ්‍යයො පොලීසියට ඉදිරිපත් කරලා තියෙනවා. SG VI 0287 , SG WW 9475 යන අංක. ගම්වාසීන් මැරයින් කිහිප දෙනෙක් හඳුනගෙන තිබෙනවා. ප‍්‍රහාරය වෙලා පැය 48ක්. කිසිම කෙනෙක් අත්අඩංගුවට අරගෙන නෑ. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා පොලීසිය බීමතින් හිටියෙ නෑ කියන්න ඉස්සරවෙලා පොලීසිය පරීක්‍ෂණයක් කළ යුතුයි මේ මැරයන් විනාඩි 20ක් විතර එතන සැරිසරද්දි, පහරදෙද්දි, දේපල හානි කරද්දි ශිෂ්‍යයො දිගින් දිගටම කතා කරදිදී පාලීසිය එන්න විනාඩි 40ක් විතර ගියෙ ඇයි කියලා. කෝ නීතිය? මීට කලිනුත් අට්ටාලයට පහර දුන්නා. ශිෂ්‍යයින්ට තර්ජනය කළා. කරපු දුරකතන අංක ශිෂ්‍යයො පොලීසියට ලබාදුන්නා. ශිෂ්‍ය නායකයො කිහිප දෙනෙක් පැහැරගෙන ගිහිල්ල අතරමග දාලා ගිහින් තියෙනවා. ඒ කිසිවකට පොලිස් පරීක්‍ෂණ නෑ. අත්අඩංගුවට ගැනීම් නෑ. ඒ වෙනුවට පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා තවදුරටත් විහිළු සපයමින් ඉන්නවා.

දැන් එස්. බී. දිසානායක කියනවා විශ්වවිද්‍යාලයට ආපු වෙලාවෙදි ඔහුට බාධා කරපු ශිෂ්‍යයෝ අඳුනගෙන තියෙන්නෙ කියලා. උපකුලපතිවරයත්, සමනලවැව පොලිස් ස්ථානාධිපතිවරයාත් සාක්‍ෂි සපයනවා විඞීයෝපට මගින් ඔවුන් අඳුනගෙන තිබෙන්නෙ කියලා. විහිළුව තමයි එස්.බී. දිසානායක, උපකුලපතිවරයා, පොලිස් ස්ථානාධිපතිවරයා හඳුනගත්තා කියන 13දෙනාගෙන් එක ශිෂ්‍යයෙක් දැන් මාස දෙකක ඉඳන් ඉන්නේ කොරියාවේ අගෝස්තු මාසයේ ඉඳලා. අපි දන්නැහැ ඔහු කොරියාවෙ ඉඳන් හූ කියන එක එස්. බී. ඇමතිවරයාට ඇහුනද කියලා. අර ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා වරක් අපවත් වෙච්ච ශිෂ්‍ය භික්‍ෂූන් වහන්සේ නමකගේ පං
ති තහනම් කළා.
සමහර උපකුලපතිවරුන්ට අසනීපයක් හැදිලා තියෙනවා තමන්ගේ උපකුලපතිධූරය අවසන් වුනායින් පස්සේ යුරෝපයේ රටක තානාපතිකමක් ලබන්න. ඒ වෙනුවෙන් සට්ටැඹ්කම් කරන උපකුලපතිවරු කිහිපදෙනෙක් දැන් විශ්වවිද්‍යාල පද්ධතියෙ බිහිවෙලා ඉන්නවා. සබරගමුවෙ උපකුලපතිවරයාත් ඒ තත්වෙට පත්වෙලා. සන්ධානයේ මන්ත‍්‍රීවරයෙක්ගේ නායකත්වයෙන් මේ ශිෂ්‍යයින්ට එල්ලවෙච්ච නින්දිත ම්ලේච්ඡ මැර ප‍්‍රහාරය සමාජවාදී ශිෂ්‍ය සංගමය ලෙස අපි දැඩි ලෙස හෙලා දකිනවා. අපි කියනවා මේ මැරයින් වහාම අත්අඩංගුවට ගන්න කියලා.
එක පැත්තකින් උසස් අධ්‍යාපන ඇමතිවරයා විශ්වවිද්‍යාලවලට පැනල පහරදෙන්න කියලා මැර කණ්ඩායම්වලට ආරාධනා කරනවා. ඔහුගේ මල්ලි පාසල්වලට පැනල දෙමාපියන්ට ගහනවා. අපි මේ රටේ ජනතාවට කියන්නෙ ඔබ දෑස් හැර බලන්න මොකද්ද මේ සිද්ධවෙමින් තියෙන්නේ කියලා. අපේ රටේ නිදහස් අධ්‍යාපනයට වෙන්නෙ මේ ටික කියලා කන්නන්ගර මහත්තයා මීට අවුරුදු 70කට කලින් දැනගෙන හිටියනම් මං හිතන්නෙ නෑ ඔහු නිදහස් අධ්‍යාපන පනතක් ඉදිරිපත් කරයි කියලා. ඉතින් අපි කල්පනා කරා මේ සියලූ තත්වයන් සැලකිල්ලට අරගෙන අපේ රටේ විශිෂ්ට උරුමයක් බවට පත්වෙලා තියෙන නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් කරන සටන නැවත වටයකින් පනගන්වන්න ඕන කියලා. අපේ රටේ ජනතාවට සීගිරියට, රුවන්වැලිසෑයට වඩා උරුමයක් තමයි නිදහස් අධ්‍යාපනය. ලෝකයට විශිෂ්ටයන් බිහිකලේ නිදහස් අධ්‍යාපනයෙන්. එවැනි විශිෂ්ට අධ්‍යාපනයක් තිබුන රටක් අද පාලකයන්ගේ ඔලමොට්ටල ප‍්‍රතිපත්ති නිසා අභාවයට යමින් තිබෙනවා. නිදහස් අධ්‍යාපනයෙන් ප‍්‍රතිලාභ ලබපු සුවහසක් ජනතාව ඒකරාශී කරගෙන තමන්ගෙ දුවාදරුවන්ට, මුණුපුරන්ට මිණිපිරියන්ට නිදහස් අධයාපනයේ ප‍්‍රතිඵල ලබාගන්න බලපෑමක් ආණ්ඩුවට කරන්න ඕන කියලා. අනාගතයට 6%ක් කියන වැඩපිළිවෙල අපි දියත් කරන්නෙ ඔක්තෝබර් 20-27 කන්නන්ගර සතිය පදනම් කරගෙන. ඒ අනුව කන්නන්ගර මැතිතුමා 1943 ඉඳලා 47 දක්වා අපේ රටේ ආරම්භ කරනලද මධ්‍ය විද්‍යාල 54 පදනම් කරගෙන ඒ ආශ‍්‍රිත නගරයන්හි අපි බැනර් අත්සන් කරනවා මෙවර අයවැයෙන් අධ්‍යාපනයට 6%ක් වෙන්කරන්න කියලා. එහි ආරම්භය ඔක්තෝබර් 20 සවස 4.00ට කොළඹ කොටුවෙන් පටන් ගන්නවා. ඒ වගේම මේ බැනර් සියල්ල එකතුකරලා අධ්‍යාපනය පිළිබඳව පාර්ලිමේන්තුවෙ අයවැය විවාදෙ යන දිනයේදි කොළඹට ගෙනවිත් අඩි 1000ක බැනරයක් ප‍්‍රදර්ශනය කරන්න බලාපොරොත්තු වෙනවා. ඊට සමාන්තරව ප‍්‍රධාන නගරවල අත්පත‍්‍රිකා ලක්‍ෂයක් බෙදාහැරීමේ ව්‍යාපාරයක්, සම්මන්ත‍්‍රණ මාලාවක් සහ වීදි නාට්‍ය මාලාවක් පැවැත්වීමට තීරණය කර තිබෙනවා. මේ සියල්ලෙන් අපි බලාපොරොත්තු වෙන්නෙ අවුරුදු 70කට කලින් නිදහස් අධ්‍යාපන පනත ගෙනල්ල බලාපොරොත්තු වුනු දේ ඉදිරි පරම්පරාවටත් ලබා දෙන්න. ඒ වෙනුවෙන් බලපෑම් කරන්න තමයි මේ ව්‍යාපාරය අරගෙන යන්නෙ.



Sirasa TV

Swarnavahini Live

Hiru TV Live

TV Derana Live

Tv1 Live