Gallery

Related Posts Plugin for WordPress, Blogger...

Sinhala Radio

Scan Me

Scan Me
Powered by Blogger.

ජනාධිපතිවරණය පවත්වන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පසුගිය සතියේ බ්‍රහස්පතින්දා පස්වරු 1.30ට යෙදී තිබූ සුබ මොහොතින් ප්‍රකාශයට පත් කළේය. ඊට අදාළ නිවේදනය සඳහා අත්සන් කිරීමට මොහොතකට පෙර ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිටියේ බත්තරමුල්‍ලේ මහා මාර්ග අමාත්‍යංශයේ නව නිවහන විවෘත කිරීමේ උත්සවයේය එම විෂයට අදාළව නියෝජ්‍ය ඇමැතිවරු සිටියද විෂය බාර ඇමැතිවරයා වූයේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාය. එම උත්සව  සභාව අමතමින් ජනාධිපතිවරයා කියා සිටියේ “මට හෙට ඉඳලා පටන්ගන්න තියෙනවා බොක්සිං තරගයක්. හැබැයි මට තාම ඉන්නේ ෂැඩෝ බොක්සිංකාරයෙක්. මම අද ජනාධිපතිවරණය කැඳවන බවත් මම තුන්වන වරට තරග කරන බවත් ප්‍රකාශ කරනවා. එතකොටවත් බලමු ක්‍රීඩකයා එයිද කියලා. මම 2005 ජනාධිපතිවරණයට අත්සන් කළේත් දක්ෂිණ අධිවේගී මාර්ගයට මුල්ගල තියලා ඇවිත්. ඒ නිසා මහාමාර්ගය මට හුඟක් සමීපයි” ජනාධිපතිවරයා මෙම කරුණු දක්වමින් සිටියදී වේදිකාවේ සිටි ඇමැතිවරයෙක් “සර් වෙලාව හරි” යනුවෙන් ජනාධිපතිවරයා අමතමින් කීවේය.
“මට ගෙදරට ආවහම ඒකත් අමතක වුණා. අදාළ වැඩ වලට අත්සන් කරන්න මම යන්න එපැයි” කියමින් එම උත්සව සභාවෙන් සමුගත් ජනාධිපතිවරයා නික්ම ගියේය.


ජනාධිපතිවරණයේ උණුසුමත් සමග ආණ්ඩුවෙන් ඉවත්වන මැති ඇමැතිවරුන් සම්බන්ධයෙන් මොහොතින් මොහොත උණුසුම් මාතෘකා නිර්මාණය වෙමින් තිබේ. ඉන් ප්‍රධානම සාධකය ලෙස දේශපාලන ක්ෂේත්‍රය තුළ සැලකෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ‍ලේකම් මෛත්‍රීපාල සිරිසේන මහතා ඉවත්වන බවට කියැවෙන ප්‍රකාශයන්ය. මේ සම්බන්ධයෙන් මෛත්‍රීපාල සිරිසේන ඇමැතිවරයා මුණගැසෙන මාධ්‍යවේදීන් ඔහුගෙන් කරන විමසීම්වලදී ඔහු සිනාසෙනවා මිස කිසිවක් කියන්නට උත්සහ ගන්නේ නැත. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව සහ පක්ෂ නායක රැස්වීම පසුගිය බදාදා අරලියගහ මන්දිරයේදී රැස්විය. මෛත්‍රීපාල සිරිසේන මහතා මධ්‍යම කාරක සභාවට එන විටම පිරිස විහිළු කරන්නට පටන් ගත්තේ “අන්න ‍පොදු අපේක්ෂකයා එනවා” යනුවෙනි. මෛත්‍රීද සිනාසෙමින් පැමිණුනා මිස ඊට පිළිතුරු දෙන්නට ගියේ නැත. කෙසේ වෙතත් ජනාධිපතිවරයාගේ ජන්ම දිනය නිමිති කරගෙන මධ්‍යම කාරක සභාවේදී මැති ඇමැතිවරුන් පිරිවරාගෙන ජනාධිපතිවරයා උපන්දින කේක් ගෙඩිය කපනු ලැබුයේ සියලු දෙනාගේ සුබපැතුම් මැදය. කේක් ගෙඩිය කැපූ ජනාධිපතිවරයා, ඔක්කොටම ඉස්සෙල්ලා පක්ෂයේ මහ‍ලේකම්තුමාට කවන්න එපැයි” කී ජනාධිපතිවරයා මෛත්‍රීට තම පළමු කේක් කැබැල්ල කැව්වේය. ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ල.නි.ප.යේ අපේක්ෂකයා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බවට වූ යෝජනාව ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා මධ්‍යම කාරක සභාවට ඉදිරිපත් කළ අවස්ථාවේ සියලු දෙනා අත් ඔසවා ඊට තමන්ගේ අනුමැතිය පළ කළේය.
මේ අතර මෙම මධ්‍යම කාරක සභාවේදී මෛත්‍රීපාල සිරිසේන මහතාට අගමැති ධුරය බාරගන්නා ලෙසට කෙරුණු ආරාධනය ඔහු විසින් ප්‍රතික්‍ෂේප කළ බවට නිල නොවන ආරංචි මාර්ග සඳහන් කළේය. එමෙන්ම ඉදිරි ජනාධිපතිවරණය මෙහෙයවීම සඳහා අගමැති දි.මු. ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත්කෙරිණ. ඒ සඳහා කඩිනමින් සංවිධාන කටයුතු සඳහා සහභාගි විය හැකි මහ ඇමැතිවරයෙක්ද පත්කරගත යුතු බව මධ්‍යම කාරක සභාවට කී ජනාධිපතිවරයා “ඔය ප්‍රසන්න ඉන්නේ” යනුවෙන් බස්නාහිර මහ ඇමැති ප්‍රසන්න රණතුංග මහතාව පෙන්නුවේය. “ඔව් මම කොහොමත් ප්‍රසන්නව ඕකට දාගන්න හිටියේ” යනුවෙන් බැසිල් රාජපක්ෂ ඇමැතිවරයා ඊට ප්‍රතිචාර දක්වමින් කියා සිටියේය.
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පසුගිය බ්‍රහස්පතින්දා ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමත් සමග දේශපාලන කරලියේ අළු යට ගිනිමෙන් තිබූ දේශපාලන පිල් මාරුවේ කතාබහ වඩාත් උණුසුම් විය. ශ්‍රී ල.නි.ප. මහ‍ලේකම් ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ල.නි.ප.යේ කණ්ඩායමක් සමග පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් ‍පොදු අපේක්ෂකයාගේ කණ්ඩායමට එක්වන බවත් එය අද (21) සිදුවන බවත් තහවුරු නොකළ ආරංචි මාර්ගවලින් කියැවිණි. මේ අතර බ්‍රහස්පතින්දා සෞඛ්‍ය අමාත්‍යාංශයට ගිය සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් අමාත්‍යාංශ නිලධාරීන් විමසුවේ හෙට (21) උදෑසන පැවැත්වෙන පත්වීම් ලිපි ප්‍රදානයට සර් එනවාද කියාය. “මම නැතුව කවුද එන්නේ” මෛත්‍රී පෙරළා පිරිසගෙන් ප්‍රශ්න කළේය.
ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ ඇතැම් දේශපාලනඥයන් ගැනීමට යන දේශපාලන තීන්දු ගැන කටකතා අයවැය විවාදය අතරද මැති ඇමැතිවරුන්ගේ කතාබහ අතර විය.
ගාමිණී ලොකුගේ කෙහෙළිය රඹුක්වැල්ල, ලලිත් දිසානායක, ලොහාන් රත්වත්තේ, තේනුක විදානගමගේ ඇතුළු මැති ඇමැති පිරිසක් ජනාධිපති පාර්ලිමේන්තු කටයුතු ‍ලේකම් කුමාරසිරි හෙට්ටිගේ සමග කතාබහ කරමින් සිටියේ මැතිවරණයක් ප්‍රකාශයට පත් කරන්න යන වෙලාවක සිදුවෙන දේවල් ඉතිහාසගත තොරතුරුද සමගය.
“අපේ ඡන්ද ව්‍යාපාරය දැනටමත් ගොඩක් ඉස්සරහට ගිහින් තියෙන්නේ. එහෙ මෙහෙ යන අය ගැන කටකතා ගොඩක් තිබුණත් ඒවා එහෙමම වෙන්නේ නෑ” ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල කීවේය. “විපක්ෂය හදන්නේ ආණ්ඩුව ඇතුළේ ප්‍රශ්න හදන්න හැබැයි ඒ අයගේ කඳවුර තව දින කීපයකින් පුපුරනවා” ඇමැති ගාමිණී ලොකුගේ කියද්දී ජනාධිපතිවරණ ප්‍රකාශයට පත් කෙරෙන දිනය ගැන දැන ගැනීමට විපක්ෂ නායක කාර්යාලයේ නදීරා මඩුගල්‍ලේ එතැනට පැමිණියාය.
“ඔය ගොල්ලන්ගේ අපේක්ෂකයාට
බාලගිරි දෝෂය හැදිලද? මොකද විපක්ෂ නායකතුමාට, නියෝජ්‍ය නායකතුමාට යන එන මං නැති වෙලා වගේ පේන්නේ” ලොහාන් රත්වත්තේ මන්ත්‍රීවරයා අසද්දී “අපේ නායකතුමා වෙලාවට හරි වැඩේ කරන කෙනෙක්. මේ ගමන එතුමාට ආණ්ඩුව පැත්තෙනුත් කට්ටියක් උදව් කරනවා” නදීරා කීවාය.
“තව දින කීපයකින් විපක්ෂය තව තවත් අනාථ වෙන හැටි බලාගන්න පුළුවන්” කීවේ ටී.බි. ඒකනායක ඇමැතිවරයාය.
මේ අතර එතැනට පැමිණි නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යවරයා හෙට්ටිගේ ළඟට කිට්ටු වෙමින් “ආණ්ඩුව ඇතුළේ කුමන්ත්‍රණ කරන්න විපක්ෂයෙන් මෙහෙයුමක් යනවා. අපෙත් එක එක්කෙනාට ඔෆර්ස් දෙන්න යනවා. ඇත්තම කියනවා නම් මටත් ඔෆර් එකක් ආවා. මම ඕවට අහුවෙන්නේ නෑ. මං ඉපදුනෙත් ශ්‍රී ලංකාකාරයෙක් හැටියට. මැරෙන්නෙත් ශ්‍රී ලංකාකාරයෙක් හැටියට” කීවේය.
“ජනාධිපතිතුමා කිසි දවසක කුමන්ත්‍රණවලට අහුවෙන්නේ නෑ. ඒවට බය වුණෙත් නෑ. එතුමාට සටනක් දෙන්න කවුරුත් අද නෑ. කවුරු ආවත් අලි බෙට්ටයි දිය තරිප්පුවයි වගේ. අලි බෙට්ට වැටුණ ගමන් උණුසුමක් එක්ක ‍පොඩි වෙලාවක් දිස්නයක් ගහනවා. දිය තරිප්පුව එහෙමද? මොන පැත්තට බැලුවත් දිස්න ගහනවා. කපන්න කපන්න දිස්නය වැඩිවෙනවා” හෙට්ටිගේ කියද්දී “අන්න නියම උදාහරණය. තව මොනවද කතා” කියමින් මැති ඇමැති පිරිස එතැනින් යන්නට ගියහ.
‍ලේක්හවුස් ත්‍රස්ත ප්‍රහාරයේදී අපවත් වූ කොටුව සම්බුද්ධාලෝක විහාරාධිපති විතාරන්දෙනියේ චන්ද්‍රජෝති නාහිමියෝ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කිට්ටුවෙන් ඇසුරු කළ හිමිනමකි. ඒ නිසා සෑම වසරකම සිය ජන්ම දිනයේදී කොටුව සම්බුද්ධාලෝක විහාරයට ගොස් ආශිර්වාද ලබා ගැනීම ජනාධිපතිවරයාගේ සිරිතය. මෙවරද ඒ සඳහා කල් ඇතිව වේලාව වෙන්කර තිබිණ. විහාරස්ථානයේ රන්වැට විවෘත කිරීමද ඒ සමගම යොදා තිබිණ. එහෙත් හිමිදිරියේම එම අවස්ථාවට සහභාගි වූයේ කථානායක චමල් රාජපක්ෂ මහතා හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී ජයලත් මහතාය. ජනාධිපතිවරයා මඳක් අසනීපයෙන් පසුවෙන බව ඔවුහු සඟරුවනට දැනුම් දුන්හ. ඒ අනුව උත්සවය ඇරඹී අවසන් කෙරිණ. තේපැන් සංග්‍රහය අවස්ථාවේ උදේ 8.00ට පමණ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හදිසියේම එහි පැමිණියේ “මම මෙහේ එන්නම ඕනානේ” කියමිනි. තේ පැන් සංග්‍රහයට සහභාගි වී දකුණෙන් ගෙන්වා තිබූ හැලප කා තේ පානය කළ ජනාධිපතිවරයා එහි සිටි ප්‍රංශයේ ජේතවනාරාමාධිපති මුරුංගාගස්යායේ ඤාණිස්සර නාහිමි සමග විශේෂ කතාබහක යෙදිණ.
එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය සිකුරාදා ඉන්දියාව බලා පිටත්ව ගියේ “තිරුපති” කෝවි‍ලේ පැවැති ආගමික කටයුත්තක් සඳහා සහභාගි වීමටය. එහි ගිය වික්‍රමසිංහ මහතා එය අවසන් කර එදින රාත්‍රියේ කොළඹට පැමිණියේය. මේ අතර එදින දහවල් රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවත්වීමට නියමිතව තිබූ එජාපයේ පුරප්පාඩු වූ පළාත් පාලන ආයතනවලට නියෝජිතයන්, පත් කිරීමේ උත්සවය පැවැතියේ එජාප මහ‍ලේකම් තිස්ස අත්තනායක මහතාගේ ප්‍රධානත්වයෙනි. මේ අතර පසුගිය සෙනසුරාදා එජාප මහ‍ලේකම්වරයා ගිලන් වී මාලබේ නෙවිල් ප්‍රනාන්දු රෝහ‍ලේ ප්‍රතිකාර  ලබමින් සිටි පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ සැපදුක් බැලීම සඳහා එහි ගියේය. ඊට පසු දිනයේ එනම් ඉරිදා රනිල් වික්‍රමසිංහ මහතාද එහි ගියේය.
එක්සත් ජාතික පක්ෂයේ කළුතර දිස්ත්‍රික් ක්‍රියාකාරීන්ගේ හමුවක් පසුගිය ඉරිදා බණ්ඩාරගම දී පැවැත්විණ. මේ කටයුතු සංවිධානය කර තිබුණේ අජිත් පෙරේරා මන්ත්‍රීවරයාය. මෙහිදී ජනාධිපතිවරණය සම්බන්ධයෙන් අදහස් පළ කළ රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේ “අපිට විපක්ෂය හැටියට තිබෙන්නේ සීමිත සම්පත් ප්‍රමාණයක්. ඒ නිසා ආණ්ඩුවක් වගේ අපිට වැඩකරන්න බැහැ. අපි දැන්ම මැතිවරණ කටයුතු පටන් ගත්තොත් අපිට එය ඉදිරියට පවත්වාගෙන යන්න බැරි වෙනවා.  ඒ නිසා අපේ තීරණය ගන්නේ  ජනාධිපතිවරණය කැඳෙව්වාට පස්සේ” එජාප නායකයා ප්‍රකාශ කළේය. එක්සත් ජාතික පක්ෂයේ ජී. 20 කණ්ඩායම පසුගිය සඳුදා රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ. එම කණ්ඩායම ඇමතූ වික්‍රමසිංහ මහතා දැනට කෙරී ගෙන යන දේශපාලන කටයුතු  පිළිබඳ පැහැදිලි කිරීමක් කරමින් කියා සිටියේ විවිධ සංවිධාන සමග කෙරීගෙන යන සාකච්ඡා සහ ඒවායේ ඇතිවන එකඟතාවයන් සම්බන්ධයෙන් කෘත්‍යාධිකාරී මණ්ඩලය දැනුවත් කිරීමට අවශ්‍ය කරන පියවර තමන් විසින් ගන්නා බවය. මේ අතර රනිල් වික්‍රමසිංහ මහතා සහ මලික් සමරවික්‍රම මහතා හොංකොං බලා පිටත්ව ගියේ මිතුරකුගේ දියණියකගේ විවාහ මංගල උත්සවයකට සහභාගි වන බව පක්ෂයට දැනුම් දෙමිනි. නමුත් එම සංචාරය දේශපාලනමය කරුණු කිහිපයක් පදනම් කරගනිමින් සිදුවූවක් බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
ජවිපෙ විශේෂ දේශපාලන මණ්ඩල රැස්වීමක් සූදානම් කර තිබුණේ 20 වෙනිදා පෙරවරුවේදීය. ඒ 19 වෙනිදා මධ්‍යම රාත්‍රියේ දී මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ජනාධිපතිවරණයක් කැඳවතැයි දේශපාලන උණුසුමක් තිබුණු නිසාය. ජනාධිපතිවරණයක් කැඳවා නොතිබුණ ද ජවිපෙ නායකයින් විසි වෙනි දින පැලවත්ත ප්‍රධාන කාර්යාලයේ දී පෙරවරු අටට දේශපාලන මණ්ඩල රැස්වීමට වාඩි විය.
ආණ්ඩුවේ ගොඩක් ඇමැතිවරු පැය ගණන් කිව්වා. ඩලස් එහෙම නිශ්චිතවම කිව්වා ජනාධිපතිවරණය දහනවය රාත්‍රී එන්න නියමිතයි කියලා. ඒත් ඒ හැම ඇමැතිවරයෙක්ම ඇනගත්තා නේද?” අනුර දිසානායක රැස්වීම ආරම්භයේදීම කියා සිටියේය. “ශ්‍රී ල නිප මධ්‍යම කාරක සභාවේදි මෛත්‍රීට අගමැතිකම දෙන්න යෝජනාවක් ඇවිත් තියෙනවා. නමුත් භාර අරගෙන නැහැ. මාස දෙක තුනකට අගමැතිකම මොකටද කියලා හිතන්න ඇති. ඒ නිසාම තමයි රෑ 12 ට ජනාධිපතිවරණය කැඳවන්න ගැසට් එක ගහලා නැත්තේ. වැඩේ ටිකක් අප්සෙට් වෙලා” විජිත හේරත් කීවේය.
මධ්‍යම කාරක සභාව තිබිලා තියෙන්නේ පැය භාගයක් විතර. මහින්දගේ නම යෝජනා කළාට පස්සේ ඒකට කවුරුත් විරුද්ධ වෙලා නැහැ. කවුද ඉතිං  විරුද්ධ වෙන්න ඉන්නේ. අනෙක මේක මහ විහිළුවක්නේ. මහින්ද නැතිව වෙන අපේක්ෂකයෙක් ආවොත් ජනාධිපතිවරණයක් නැහැ. හදිසි  ජනාධිපතිවරණය පවත්වන්නෙම මහින්දට තව සැරයක් බලය ගන්න. පත්තරවල ‍පොල්ගෙඩි අකුරෙන්  දැම්මට ශ්‍රී ල නිප මධ්‍යම කාරක සභාව විහිළුවක් කියලා මුළු රටම දන්නවා’ ටිල්වින් සිල්වා කීවේය.
ඒ වුණාට ආණ්ඩුව ජනාධිපතිවරණයට සූදානම් වෙලා ඉන්නේ. මැතිවරණ කොමසාරිස් නිලධාරීන් ලවා මැතිවරණයට අවශ්‍ය කටයුතු කරනවා. එයා ඉවට වැඩකරන්නේ නැහැනේ. ‍පොලීසියේ විශේෂ පිරිසක් තෝරලා ත්‍රස්ත විමර්ශන ඒකකයට පත්වීම් දීලා. ඒ මාස තුනකට . අධ්‍යක්ෂ කෙනෙකුත්  පත්කරලා තියෙනවා.  ඒ කියන්නේ ජනාධිපතිවරණය ඉලක්ක කරලා වැඩ සැලසුම්  කරමින් ඉන්නේ” විජිත හේරත් කීවේය.

Sirasa TV

Swarnavahini Live

Hiru TV Live

TV Derana Live

Tv1 Live